පුත්තලම වෙරළේ සායනික අපද්‍රව්‍ය ගැන පරීක්ෂණ

පුත්තලම වෙරළේ සායනික අපද්‍රව්‍ය ගැන ක්ෂේත්‍ර කිහිපයකින් පරීක්ෂණ

by Staff writer 14-08-2018 | 8:01 PM
COLOMBO (News 1st) - ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැක කරන සායනික ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව අපි ඊයේ වාර්තා කළෙමු. අද සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් එම ස්ථානය පරීක්ෂා කළහ. පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික ද්‍රව්‍යය ද ඇතුළත් අපද්‍රව්‍ය එක්රැස් වී තිබේ. එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වේ. අද පස්වරුවේ පරමාණු බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ මෙහි විකිරණශීලි ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කළහ. මූලික නිරීක්ෂණවලදී විකිරණශීලි ද්‍රව්‍ය කිසිවක් හඳුනාගත නොහැකි වූ බව එම නිලධාරීන් සඳහන් කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු ද අද දහවල් වෙරළ තීරයේ ගොඩ ගැසී තිබූ අපද්‍රව්‍ය වෙන් කර එක්රැස් කළහ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ, මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ සිට මෙරට වෙරළට ගොඩ ගසන්නට ඇතැයි අනුමාන කරන බව ය. මෙම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතු වේ. මේ දිනවල කේරළ ප්‍රාන්තයට තද වැසි ඇද හැළෙන අතර ඇතැම් ස්ථානවල ජල ගැලීම් ද වාර්තා විය. කේරළයේ ගංවතුර නිසා මුහුදට මුසු වී මේවා මෙරටට පැමිණියා නම් ඒවා එක් තැනක රැස් වූ ඒවා ද? නැතහොත් සංවිධානාත්මකව කවුරුන් හෝ මේවා මුහුදට ගෙනැවිත් දැමුවා ද? රෝහලක භාවිත කළ ද්‍රව්‍ය නම් බොහෝ විට එය හඳුනාගත හැකි ක්‍රම රැසක් තිබේ.