ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-08-2018 | 6:45 AM

දේශීය පුවත්...

1. දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම : දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි. 2. යාලේ කලාපයක් දෙමසක් වැසේ : යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් පළමු වන දා සිට ඔක්තෝම්බර් 31 වන දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බවයි. 3. වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ උදෑසන විරෝධතාවක් ආරම්භ කළේ ය. 4. ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර : විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39 ක් ලබාදීමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. 5. අපේ “කුණු” පාලනය නොකර, පිටරටවල “කුණු” පාලනය කළ හැකි වෙයි ද? : ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැකකරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. පුත්තලම, උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10 ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික අපද්‍රව්‍ය එක්රැස්වී තිබිණ.

විදෙස් පුවත්.... 

1. සිරියාවේ ගබඩාවක් පිපිරීමෙන් 39ක් මරුට : සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි .

ක්‍රීඩා පුවත් ...

2.“කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි” : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසී ය.