උඩප්පුව - තොඩුවාව වෙරළ තීරය භාවිතයෙන් වළකින්න

උඩප්පුව - තොඩුවාව වෙරළ තීරය භාවිතයෙන් වළකින්න

by Staff writer 14-08-2018 | 7:12 AM
COLOMBO (News 1st) : නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරයට භාවිත කිරීමෙන් වළකින්න ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේ, එහි ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කරන තුරු එම වෙරළ භාවිතයෙන් වළකින ලෙසයි. ඉන්දියාවෙන් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන පුත්තලම ප්‍රදේශයට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේ ය. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේ, මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට මෙරට වෙරළට ගොඩ ගසන්නට ඇතැයි, අනුමාන කරන බවයි. පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ එම සායනික අපද්‍රව්‍ය තොගය ගොඩගැසී තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ දින 4 ක පමණ සිට මෙම අපද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති බවයි. එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වේ. මේ අතර 'ඉන්දියා ටුඩේ' පුවත්පත අද වාර්තා කළේ, කල් ඉකුත්වී ගිය භාවිතයට නොගත් ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඖෂධ විශාල ප්‍රමාණයක් ද මේ අතර ඇති බවයි. මීට පෙර 2017 වසරේ නොවැම්බර් 17 වනදා යාපනය වඩමාරච්චි, තොණ්ඩමනාරු ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ අයුරින් සායනික අපද්‍රව්‍ය ගොඩ ගසා තිබිණ. සායනික අපද්‍රව්‍ය මෙසේ මෙරට වෙරළ තීරයට ගොඩබසිද්දී විකිරණශීලී අපද්‍රව්‍ය නීත්‍යානුකුල අයුරින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමේ අවදානමක් මතුව තිබේ.