මා ඔයේ සිදු වන ජාවාරම...

මා ඔයේ සිදු වන ජාවාරම...

by Staff writer 14-08-2018 | 7:41 PM
COLOMBO (News 1st) - බොහෝ දෙනෙකු දෛනිකව භාවිතයට ගන්නා මා ඔයේ ජලයට රසායනික ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය මුදාහරින ජාවාරමක් පිළිබඳයි මේ අනාවරණය. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සින්දාන්ත්‍රිය ප්‍රදේශයෙන් ගලා බසින මා ඔය ආරක්ෂා කිරීමට දැනුවත් කිරීමේ පුවරු සවි කර බලධාරීන් කටයුතු කර තිබුණත් අද ඊට අත්ව තිබෙන්නේ කණගාටුදායක ඉරණමකි. අපද්‍රව්‍ය සහිත පොළිතීන්, පරිගණක කොටස් ආදී ඉවතලන ද්‍රව්‍ය ප්‍රදේශවාසීන් ලවා මා ඔයෙන් සෝදා පිරිසිදු කිරීමේ ජාවාරමක් මේ ප්‍රදේශයේ කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මුද්‍රණ යන්ත්‍ර සඳහා භාවිත කළ ටෝනර් ද මෙලෙස මා ඔය ජලයෙන් පිරිසිදු කෙරෙන අතර ඒවායේ තීන්ත බැහැර වන්නේ ද මෙම ජලයට ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සින්දාන්ත්‍රිය ග්‍රාම නිලධාරීවරිය දැනුවත් බව ප්‍රදේශවාසීන් පැවසුවත් අප ප්‍රාදේශීය ලේකම්වරියගේ අවධානයට මෙම කරුණ යොමු කරන තෙක් ඇය මෙම පරිසර හානිය පිළිබඳව දැන නොසිටියා ය. අද පස්වරුවේ අදාළ තත්ත්වය සම්බන්ධයෙන් තමා මැදිහත් වී සොයා බැලූ බව වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් සුජීවා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය. ඇය පවසන පරිදි මේ වන විට මා ඔයෙන් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු නවතා තිබේ. ඒ, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම මත ය. සින්දාන්ත්‍රිය ප්‍රදේශවාසීන් ලවා මෙම කාර්ය සිදු කර ඇත්තේ, කොච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකි. එම කටයුතු මේ වන විට නැවතී තිබුණත් සිදු වූ පරිසර හානියට වගකියන්නේ කවුද? ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බලධාරීන් ගත් පියවර මොනවා ද?