ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර

by Staff writer 13-08-2018 | 12:27 PM

COLOMBO (News 1st) : විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39 ක් ලබාදීමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලය පැවසුවේ, ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි. තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක්‍රියාකාරකම් , මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීදර් නොයෙට් ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සක්‍රියව දායක විය හැකි ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමුකර තිබේ. ඒ , පසුගිය 7 වනදා ඉන්දුනිසියාව , මලයාසියාව හා සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුවයි. බංග්ලාදේශය , ඉන්දුනීසියාව , මොන්ගෝලියාව , නේපාලය , පැසිෆික් දිවයින , පිලිපීනය , ශ්‍රී ලංකාව , වියට්නාමය හා අනෙකුත් රටවල්වල් සමග පවත්වාගෙන යන ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා මෙම අරමුදල් සැපයීම කැපී පෙනෙන ආයෝජනයක් බව මෙම නිවේදනයේ සඳහන් ය. මෙමගින්, පැසිෆික් කලාපයේ ප්‍රධාන ක්ෂේත්‍රයන් හතරක් සම්බන්ධයෙන් නිදහස් විවෘත සහ නීතිය පදනම්කරගත් ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ද මෙහි දැක්වේ. ඊට සමුද්‍රීය ආරක්ෂාව, මානුෂීය සහන සැලසීම , ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම , සාමය පවත්වාගෙන යාම සහ අපරාධ වැළැක්වීම ද අයත් ය. ඉන්දිය සාගරය , නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කෙරෙන වැදගත් මුහුදු මාර්ගයක් බැවින් කලාපයේ ජනතාවගේ සහ හමුදාවන්හි ධාරිතාවන් වැඩි කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.