විල්පත්තු මෙහෙයුමකදී වනජීවි නිලධාරීන්ට ප්‍රහාරයක්

විල්පත්තුවේ මෙහෙයුමකදී වනජීවි නිලධාරීන්ට ප්‍රහාරයක්

by Staff writer 13-08-2018 | 8:21 AM
COLOMBO (News 1st) : විල්පත්තු වනෝද්‍යානයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පහරදීමකින් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, නිලධාරීන් දෙදෙනා මේ වන විට විලච්චිය ප්‍රාදේශීය ‍රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. කිසියම් පිරිසක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොහොඹපිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරකට අනුව විලච්චිය අඩවි වන නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව තිබේ. නිධන් හාරමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් වනජීවි නිලධාරීන්ට පහර දී ඇති අතර එහිදී වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයෙකු සහ ක්ෂේත්‍ර සහයක නිලධාරියෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ගැටුම අතරතුර නිලධාරියෙකු සතුව තිබූ රාජකාරී ගිනි අවියට ද සැකකරුවන් හානිකර ඇති බවයි. ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සෙසු පිරිස පළාගොස් තිබේ. අප මේ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්ත මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදිය හැකි බවයි.