වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක

වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක

by Staff writer 13-08-2018 | 9:57 AM

COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද උදෑසන ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මක වේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අයි. අධිකාරි මහත්මිය සඳහන් කළේ, මෙම ගැටලුව පාලනය කිරීමේ වගකීම බන්ධනාගාර කොමසාරිස්වරයාට පැවරී ඇති බවයි. අද පෙරවරු 8.00 ට පමණ කාන්තා රැඳවියන් පිරිසක් ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කළහ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊට කාන්තා රැඳවියන් 15 දෙනෙකු පමණ එක් ව සිටි බවයි. කාන්තා රැඳවියන් ආරම්භ කර ඇති මෙම විරෝධයට සහය පළ කරමින් අද දහවල් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය ද විරෝධතාවක නිරත විය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසූවේ, මේ පිළිබඳව තමන්ට අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රකාශයක් කළ නොහැකි බවයි. බන්ධනාගාරය තුළ සිදුවන විවිධ අපචාර මර්දනය සඳහා නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා ය. ඊට විරෝධය දක්වමින් මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.