දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම

දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම

by Staff writer 13-08-2018 | 8:31 AM

COLOMBO (News 1st) : දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි. දුම්රිය සේවකයින් පසුගිය දින 4 පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මිලියන 64 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇතැයි ද ඔහු පැවසී ය. වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ අවසන් කෙරිණ. ඒ, ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ ය. පසුගිය 08 දින ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් මගී ජනතාව මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි දුෂ්කරතාවට පත්විය. මේ අතර අද සිට නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසී ය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, සේවකයින් වර්ජනයේ නිරත දිනයන්හි අසුන් වෙන් කළ මගීන් සඳහා ඊට අදාළ මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා බවයි.