"කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි"

"කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි"

by Staff writer 13-08-2018 | 7:56 AM
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පස්වන එක්දින තරගයට පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන අවසන් එක්දින තරගය ලකුණු 178 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299කි. ලකුණු 300ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 24 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එළඹෙන ලෝක කුසලානයට කණ්ඩායමේ සුදානම පිළිබඳව ද මැතිව්ස් එහිදී අදහස් පළ කළේ ය. ලකුණු 29ක් තුළ කඩුලු 6ක් දවා ගනිමින් සිය එක් දින ක්‍රිකට් දිවියේ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වූ අකිල ධනංජයට ඊයේ තරගයේ වීරයා සම්මානය හිමි විය. ඔහුගේ දක්ෂතා පිළිබඳව ද ශ්‍රී ලංකා නායකයා අදහස් පළ කළේ ය. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම හා එම සංචිතයට ලසිත් මාලිංග කැඳවා නොතිබීම සම්බන්ධයෙන් ද මෙහීද මැතිව්ස් අදහස් පළ කළේ ය.