පිට රට කුණු අපට පාලනය කර හැකි ද?

අපේ "කුණු" පාලනය නොකර, පිටරටවල "කුණු" පාලනය කළ හැකි වෙයි ද?

by Hashini De Mel 13-08-2018 | 8:19 PM
  •  පුත්තලම වෙරළට, සායනික අපද්‍රව්‍ය ගොඩගැසෙයි
  •  නිදහස් වෙළඳ ගිවිසුම මගින් විකිරණශීලී අපද්‍රව්‍ය මෙරටට ඒමේ අවදානමක්
  •  විකිරණශීලී අපද්‍රව්‍ය අනාගතයේ දී අපට අභියෝගයක්
ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැකකරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. පුත්තලම, උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10 ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික අපද්‍රව්‍ය එක්රැස්වී ඇත. ප්‍රදේශවාසීන් පැවසූවේ, දින 4 ක පමණ සිට මෙම අපද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති බවයි. සම්පූර්ණ වාර්තාව හා වීඩියෝව.  සායනික අපද්‍රව්‍ය මෙසේ මෙරට වෙරළ තීරයට ගොඩබසිද්දී විකිරණශීලී අපද්‍රව්‍ය නීත්‍යානුකූල අයුරින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමේ අවදානමක් මතුව තිබේ. මෙම අවදානම මතු ව ඇත්තේ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් කර ඇති වගන්ති කිහිපයක් හරහායි. අත්සන් කර තබන ලද බව ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියට පත් කර ඇති සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ 70 සහ 71 යන පිටුවල මේ සම්බන්ධ අවදානම මතු ව කරුණු ඇතුළත් වේ. දූෂණ විරෝධී කැඳවුම්කරු, වසන්ත සමරසිංහ,
සිංගප්රුවද වෙනත් සමාජික රටක් ද ඔවුන්ගේ රටේ තියෙන මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන මාධ්‍යක් ලෙස ඉදිරියේදී ලංකාව හඳුනා ගන්නවා. න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන රටක් ලෙස හඳුනාගැනමේදී ලංකාව අඩුම තරමේ මේ වගන්තිවලින් කියලා තියෙන්නේ මොනවද කියලා හිතලා මතලා බැලුවානම් මේවා තහනම් කරගන්න මේවා නවත්තා ගන්න තිබුනා. මේ ගිවිසුමේ පිටු අංක 70, 71 කියන දෙකෙම නියුක්ලිය වෙස්ට් එවිට ඉඩ හදාගත්ත කාරනය මේකේ ඉතාම පැහැදිලිව කියනවා වගන්නති පිටින් එහි තියෙන බදු නිදහස් කිරීම වගේම වරාය හා ගුවන්තොටුපොළ බද්දත් ඉදිරිදී අවුරුදු 10 තුළ නිදහස් කරනවා කියලා.ඉතින් අපේ රට ආසියාවේ කුණුගොඩ බවට පත්කර ගැනීමේ මේ ප්‍රයත්නය අපි ආණ්ඩුව වගකීමක් නැතුව වැඩ කිරීමක් වගේම රටක් හැටියට අනාගතයේ පත්වෙන බරපතළ තත්ත්වයක් මතුවෙනවා.
පාර්ශව ගණනාවක් සාධක සහිතව මෙම කරුණ පෙන්වාදී තිබියදී සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිටුපස සිටින අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙවැන්නකි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම
මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන වගකීම් විරහිත චෝදනාවක් තමයි සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට බැහැර කිරීමට මෙම ගිවිසුම හරහා ඉඩ ලබාදී ඇති බව. මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යක් බව. මෙම ගිවිසුම හරහා රටවල් අතර අපද්‍රව්‍ය හුවමාරුව පාලනය කිරීමේ අරමුණින් සම්මත කරනු ලැබු බාසල් ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර පරිසර ප්‍රඥතිවලින් ලබාදී ඇති අයිතීන්වලය කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ.
විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් දිගින් දිගටම අවදානම මතුකරද්දී අමාත්‍යවරයා එම අවදානම බැහැර කරමින් කරන මේ ප්‍රකාශ පිළිගත හැකි ද? නීතිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් කරමින් සකස් කළ කෙටුම්පත නැවත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබුනත් ඒ සඳහාවත් ඉවසීමක් නොමැතිව අත්සන් කළ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කරන ප්‍රකාශ ජනතාව විශ්වාස කරයි ද? සුපිරිසිදු දක්ෂයෙක් කියා මහ බැංකු අධිපති ධූරයට පත් කල ගජමිතුරු අර්ජුන් මහේන්ද්‍රන් රටේ ජනතාවගේ මුදල් කොල්ලකා දැන් සැඟවී සිටින්නේ ද මෙවැනි ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් නොවේ ද? මහේන්ද්‍රන් සුපිරිසිදු අයෙකු බව වරක් දෙවරක් නොව කිහිපවරක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් ආරක්ෂා කළේ ද මේ පුද්ගලයින්ම නොවේ ද? මධ්‍යම අධිවේගී මාර්ගයේ වංචාව දිගින් දිගටමට අනාවරණය වෙද්දී වැඩක් නොවූ අයුරින් කොන්ත්‍රාත්තුව තමන්ටම අවශ්‍ය සමාගම්වලට ලබාදුන්නේ ද මේ පුද්ගලයින්මයි. නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන මේ අදහස් දක්වන්නේ ලෝකයේ නම් දැරූ වාහන නිෂ්පාදකයෙක් යැයි පවසා දේශීය එකලස්කරුවෙකුට කුලියාපිටියේ ආයෝජන ව්‍යාපෘතියකට ඉඩ ලබාදුන් ඇමතිවරයායි. රාජපක්ෂ පාලන සමයේ ඩුබායිහි ගිණුම් පවත්වාගෙන ගියා යැයි චෝදනා කළ පුද්ගලයින් සමග දැන් ගනුදෙනු කරන්නේ ද මේ ඇමතිවරුන් බව රටේම ජනතාව දන්නා කරුණකි. මේවා ගැන හෙළි කළත් ජනතාව ඒවාට විරුද්ධ වුනත්, නොඇසුන අයුරින් තමන්ට අවශ්‍ය දේම කරන්නට පෙළඹෙන මෙවැනි පුද්ගලයින් ගැන රටේ ජනතාව තීරණයක්ගත යුතු නොවේ ද?