'Sri Lanka Design Code'- 2018 අදින් අවසන්

'Sri Lanka Design Code' ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන්

by Staff writer 12-08-2018 | 10:42 PM
  COLOMBO (News 1st) : මොරටුව විශ්වවිද්‍යාලයීය සමෝදානික නිර්මාණ අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් - 2018 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව අද සාර්ථකව අවසන් විය. පසුගිය 07 වන දා කොළඹ ආර්කේඩ් පරිශ්‍රයේදී ආරම්භ වූ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් 2018 ප්‍රදර්ශනයට දින 6ක් පුරා ආර්කේඩ් පරිශ්‍රයට පැමිණි ජනතාවගෙන් හිමිවූයේ, ඉහළ ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය නිර්මාණ ශිල්පය ස්ථාපනය කිරීමේ අරමුණින් මොරටුව විශ්වවිද්‍යාලයීය සමෝදානික නිර්මාණ අධ්‍යන අංශය මෙවර මෙය සංවිධානය කළේ දෙවන වරටයි. මොරටුව විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිර්මාණ රැසක් මෙහිදි එළි දැක්වීය. මීට සමගාමීව ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී විශේෂ විද්වත් කතිකාවක් ද පැවැත්විණ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය මෙහෙයවූ මේ විද්වත් කතිකාවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන පීටර් ඩී. අල්මේදා හා කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරු ද එක්වූහ. මෙරට ඉංජිනේරුවන්ගේ හැකියාවන් දේශීය වශයෙන් ඇඟයීමට ලක් නොවීම පිළිබඳව රටේ වත්මන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අදහස් පළ කරමින් පීටර් ඩී.අල්මේදා මහතා පැවසුවේ, වර්තමානයේ මෙරට ඉංජිනේරුවන්ගේ හැකියාවන් දේශීය වශයෙන් ඇගයීමට ලක් නොවන බවයි.
"දැන් ඒ ගොල්ලෝ කරන්නේ චීනයේ අය ගෙනල්ලා යටිතල පහසුකම් ගොඩනගන එක, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය නිමා කරලා මේ වගේ දේවල්වලට නිර්මාණය කිරීමට තියෙන අවස්ථාවන් මොනවාද? මට ශ්‍රී ලංකාවේ ඉංජීනේරුවන්ගේ ආයතනයට අභියෝග කරලා කියන්න පුලුවන් කිසිදෙයක් ගොඩනගලා නැති බව, ගල් ඔය ව්‍යාපෘතිය එහේම් පිටින්ම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නිර්මාණය කලේ එම නිර්මාණය කොළරා‍ඩෝහි ප්‍රසිද්ධ ආයතනයකට පෙන්නුවහම කිව්වේ ‍ඔයගොල්ලෝ පෙන්වපු මේ නිර්මාණය වෙන තැනක දැකලා නැති බව, අද අපේ එක ඉංජීනේරුවෙක් කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය,නොරච්චෝලේ ඉදිකිරීම්වලට දායකවුනේ නැහැ. නොරච්චෝලේ 35 වතාවක් අසාර්ථක වුණා. එය මොණවගේ නර්මාණයක්ද එය අසාර්ථක වීමට කිසිදු කෙනෙකුගේ රැකියාවන් අහිමි වුනේ නැහැ. අද අපි දකින්නේ චීනයෙන් ගෙන්වන ලද කම්කරුවෝ රේල් පාරවල් සහ පාරවල් නිර්මාණය කරන්න ඒ කියන්නේ අපි ඉංජීනේරුවන්ට ඒවා නිර්මාණය කරන්න බැරිද?"
වත්මන් ඉංජිනේරු තාක්ෂණය එසේ වුව ද, අපට උරුම වූ අතීත තාක්ෂණයේ උරුමය පිළිබඳව ශෙවාන් ඩැනියෙල් මහතා මෙහිදි අදහස් පළ කළේ ය.
"එල්ලංගා පද්ධතිය පිළිබඳව සිතා බැලුවොත් එය පදනම් වී තිබෙන්නේ සමෝච්ච රේඛා මත පදනම්වයි. අපේ පුරාණ ඉංජීනේරුවරුන් පවත්නා මුලාශ්‍ර, භුගෝලීය තත්ත්වයන්, ජනගහන අවශ්‍යතාව තේරුම් අරගෙන, කාලය අරගෙන ඒවා නිර්මාණය කළා. ඒ ගොල්ලෝ කලේ යෝධ ජලාශයක් තැනීම වෙනුවට කුඩා ජලාශ 30, 40 ක් නිර්මාණය කිරීමයි. ඇත්තේම මම කැමති නැහැ. ජලශයක් කියලා මෙය හඳුන් වන්න. එය වැව ලෙස හැදින්විය යුතුයි. සෑම වැවක්ම මහා පද්ධතියකට සම්බන්ධ වුවක්. වර්ෂාවකදී හෝ උල්පත් වැනි මුලාශවලින් එක් රැස්වන ජලය අවසානයේ වාරි කේෂේත්‍රයන්ටත් ජනතාවට හා සතුන් පෝෂණය කිරීමට ත් දායක වුණා.මේ එල්ලංගා පද්ධති අපේ මුතුන් මිත්තන් කළ විශිෂ්ට නිර්මාණයක්''
දින 06ක් පුරා කොළඹ ජනතාවට නව අත්දැකීමක් එක් කළ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් 2018 අද රාත්‍රීයේ අවසන් වූණේ විශේෂ විලාසිතා දැක්මක් ද සමගයි.