විදුලිබල මණ්ඩල නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දොස්

විදුලිබල මණ්ඩල නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දොස්

by Staff writer 12-08-2018 | 8:21 PM
COLOMBO (News 1st) : පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් සහ විදුලිබල පනත උල්ලංඝණය කරමින් මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කිරීම කෝප් කමිටුවේදී දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඒ , පසුගිය දා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. විදුලිය මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ කරුණු විමසීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් බී. ගනේගල ,සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ, ජනන හා සම්ප්‍රේෂණ අංශයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණ. ලංකා විදුලි බල මණ්ඩලය තර්ජනාත්මක ස්වරූපයෙන් එහි නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇති මෙම ලියවිල්ල පිළිබඳව කෝප් කමිටුවේදී වැඩි අවධානයක් යොමුවී තිබේ. විදුලිබ බල පනතට අනුව මණ්ඩලය විසින් වාර්ෂිකව මහජන උපයෝගිතා කොමිසමට දළ වශයෙන් මිලියන 50ක පමණ නියාමන ගාස්තු ගෙවිය යුතුයි. එහෙත් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. කේ. සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලියවිල්ලට අනුව නියාමන ගාස්තු ගෙවීමට නම් මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් එම ධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන් ය. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට තරයේ අවධාරණය කර ඇත්තේ විදුලි බල පනත උල්ලංඝණය කරමින් පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ නොකරන ලෙසයි. මීට අමතරව ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේදී අවධානයට ලක්ව තිබේ. එම පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ඇති කරගත් 10 වසරක පළමු ගිවිසුම 2015 වසරේදී අවසන් විය. මේ වන විටත් ඒ සඳහා වැය කර ඇති මහජන මුදල රුපියල් කෝටි 300කි. 2018 අප්‍රේල් 5 වන දා යළිත් වරක් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරය සමග විදුලි බල මණ්ඩලය ගිවිසුම්ගත වන්නේ තවත් වසර තුනක් සඳහායි. ඒ සඳහා රුපියල් කෝටි 540ක පමණ ආයෝජන මුදලක් යෙදවනවා . නව ගිවිසුමට අනුව ඒස් ඇඹිලිපිටිය විදුලිබලාගාරය සඳහා මාසිකව වැය වන දළ වියදම රුපියල් මිලියන 76කි. 2015 දක්වා කාලය තුළ බලාගාරයේ සමස්ත ආයෝජන මුදල ගෙවා ඇතැත් නව ගිවිසුම මගින් යළිත් වරක් එම ආයෝජන මුදල ගෙවීමට එකඟවීම විශේෂත්වයකි. රුපියල් කෝටි 230ක් වන මුදලකට බලාගාරය මිලදී ගැනීමට හැකියාව තිබියදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 540ක් වන මුදලකට යළි ගිවිසුම් ගතවන්නේ කෙසේ ද? යන්න කෝප් කමිටුව හමුවේ ප්‍රශ්න කෙරී තිබේ. මෙම ගිවිසුම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ හා මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. කමිටුවේ නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.