දුම්රිය වැඩ වර්ජනය අවසන්

by Staff writer 12-08-2018 | 11:07 AM

COLOMBO (News 1st) : අද උදෑසන ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ ය.

ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාව පැවැත්වුණේ පොළොන්නරුවේදීයි. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනුකමිටුව ඇති කරගත් එකඟතා ඉටුකර නොමැති බව පවසමින් වෘත්තිය සමිති වර්ජනයකට යොමුවිය. පසුගිය 8 වන දා පූර්ව දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ අතර ඊට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මේ අතර අඩාල වී තිබූ දුම්රිය ධාවනය අද රාත්‍රියේ සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ දක්වා රාත්‍රි තැපැල් දුම්රිය අද ධාවනය වන බවයි. බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අද පස්වරු 5 50 ට පිටත් වූ බව ඔහු සඳහන් කළේ ය. විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය රාත්‍රි 8 ට ධාවනය වීමට නියමිත බවයි.ෙ මේ අතර වැඩවර්ජනය ක්‍රියාත්මක වූ කාල සිමාවේ ආසන වෙන් කිරීම් සිදු කර එම ප්‍රවේශ පත්‍ර භාවිතයට නොගත් මගීන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව යළි ගෙවීම හෙට සිට ආරම්භ කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, ප්‍රවේශපත්‍ර ලබා ගත් දුම්රිය ස්ථානයට එය ඉදිරිපත් කිරීමෙන් මුදල් ලබා ගත හැකි බවයි.