සිම්බාබ්වේ ජනාධිපතිවරයා දිවුරුම් දීම කල්යයි

සිම්බාබ්වේ ජනාධිපතිගේ දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 11-08-2018 | 7:49 AM

සිම්බාබ්වේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එමසන් මනගග්වා එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

හෙට දිනයට නියමිතව තිබූ දිවුරුම් දීමේ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවැති මැතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ නෙල්සන් කැමිසා විසින් මැතිවරණය දූෂිත බව පවසමින් එරට අධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස දිවුරුම් දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පසුගිය ජුලි 30 වන දා පැවැති මැතිවරණයෙදී දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ බවට තමන් සතුව සාක්ෂි පවතින බව, නෙල්සන් කැමිසාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හෙවත් ඩි.එම්.සි පක්ෂය චෝදනා කළේ ය. සිම්බාබ්වේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කර දින 7 ක් ඇතුළත ප්‍රතිඵලයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ, පසුගිය දා පැවැති සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජයගත් එමසන් මනගග්වා 50.8 % ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් අතර නෙල්සන් කැමිසා විසින් දිනා ගත්තේ 44.3% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවයි.