by Staff writer 11-08-2018 | 1:17 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිතුමා මෙම කමිටුව පත්කර ඇති බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්. ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් ය.
ඒ අනුව ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මග පෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමට එමගින් අපේක්ෂිත වේ.
එසේම මෙම ගිවිසුම තුලින් ශ්‍රි ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රි ලංකාවේ සාමාජිය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම් අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත්.
මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරිම සඳහා සියලු පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලා.
විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිතුමා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර අවසන් වාර්තාව මාස දෙකක් ඇතුලත භාරදීමට නියමිතයි.