ශ්‍රී ලංකාවේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි

by Staff writer 11-08-2018 | 12:59 PM

COLOMBO (News 1st) - වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද අහිමි විය.

ඒ, දකුණු කොරියාවත් සමග පැවැති තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමත් සමගිනි. හොංකොං හි කිංග්ස් පාර්ක් හීදී පැවැති තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 17 ට 7 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමින් ය. නමුත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ දකුණු කොරියානු ක්‍රීඩකයින් එම අර්ධයේදී තව ත් ලකුණු 10 ක් තමන් සතුකර ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එම අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාව හිමිවූයේ නැත. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වූයේ ලකුණු 17 බැගින් දෙපිලම ලබාගෙන සමතත්ත්වයේ පසුවෙමින් සිටියදීයි. තරගයේ තීරණය ලබාදීමට විනිසුරු අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී උත්සහක දිනුමක් වාර්තා කළ දකුණු කොරියාව ශ්‍රී ලංකා පරාජය කරමින් 2018 වයස අවුරුදු 20 න් පහළ සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.