සැලසුම් සහගතව සිදු වූ දෙවන බැඳුම්කර වංචාව

වගකිව යුතු බලධාරීන් මේ උත්සහ කරන්නේ රටේ ජනතාව නොමග යවමින් බැඳුම්කර වංචාව යට ගැසීමට ද?

by Staff writer 11-08-2018 | 8:39 PM
COLOMBO (News 1st) - අප මේ වන විට හෙළිදරව් කරමින් සිටින දෙවන බැඳුම්කර සිද්ධිය තවත් විශාල වංචාවක්. 2016 මාර්තු මාසයේදී දෙවන බැඳුම්කර වංචාව සිදු වන්නේ ඉතා සැලසුම් සහගතව ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තමන්ට වාසි වන අයුරින් සහ සේවක අර්ථසාධක අරමුදලට අලාභ වන අයුරින් මෙම ගනුදෙනුව නිර්මාණය කර තිබිණි. මේ සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අතරමැදි සමාගම් භාවිතා කළේ, සිය සැලසුම් සඟවා තබා ගැනීමට ය. මෙහිදී අනාවරණය වී ඇත්තේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල අතර සිදු වූ ගනුදෙනුවේ මිල ගණන් කලින් තීරණය කළ ඒවා බව ය. මීට හේතුව 2015දී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේද වෙනස් කිරීම ය. ගනුදෙනුවේ සබෑ ප්‍රතිලාභීන් වන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පිටුපස සිටින පුද්ගලයින් සහ ඔවුන්ට එම කාර්යයන් සිදු කිරීමට මහ බැංකු අධිපති ධූරයට අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කළ පුද්ගලයින් ය. ඒ අනුව මෙලෙස සූරා කෑමට ලක් වුණේ, මහජන මුදලින් නිර්මාණය වී ඇති සේවක අර්ථසාධක අරමුදල ය. ජනාධිපති කොමිසමේදී අනාවරණය වූයේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සංවේදී මූල්‍ය තොරතුරු අර්ජුන මහේන්ද්‍රන් මහතා හරහා ලැබුණු බව ය. හෙළි වී ඇති දුරකතන සංවාදවලින් ද ඒ බව අනාවරණය වේ. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ සමන් කුමාර නමැති පුද්ගලයෙකු සිටි බවට ද තො‍රතුරු අනාවරණය වේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු තවත් පිරිසකට ගෙවීම් සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා විය. අර්ජුන් ඇලෝසියස් යන අය පී.එම්. ලෙස හඳුනාගත් අයෙකු සමග සම්බන්ධතා පැවැත්වූ බවට ද කරුණු අනාවරණය විය. පී.එම්. යනු කෙනෙකුගේ මුලකුරු හෝ අගමැතිවරයා ද විය හැකි ය. වසර ගණනාවකට රටේ ජනතාවට බැඳුම්කර වාර්තාව සොයා ගත නොහැකි වන අයුරින් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා මේවා සැඟවීමට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පියවර ගත්තේ කුමන ‍හේතුවක් මත ද? බැඳුම්කර කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ පසු එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වූ විවාදය කල් තැබීමට මුල පිරුවේ වාර්තාවේ දමිළ පරිවර්තනයක් නොමැති බව දිගින් දිගටම අවධාරණය කරමිනි. නමුත් සියලු දෙනා තුළ ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුව අමතන සුමන්තිරන් මන්ත්‍රීවරයාට ඉංග්‍රීසි වාර්තාවේ අන්තර්ගතය තෙරුම් ගත නොහැක්කේ ඇයි? වගකිව යුත්තන් එලෙස කටයුතු කිරීම තුළ කෙසේ හෝ අවසානයේ රටට සිදු වූ අලාභය අති විශාල ය.