"දූෂණය පිටුදකින දේශපාලන චරිත ජනතාවගේ අපේක්ෂාවයි"

ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ ජනතාවගේ අපේක්ෂාව බව ජනපති කියයි

by Staff writer 11-08-2018 | 6:55 AM

COLOMBO (News 1st) - දූෂණය පිටුදකින ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත, එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකළ හිටපු අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ එම පිළිරුව ස්ථාපිත කර තිබේ. එහිදි ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ වෙනුවෙන් රජය පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි. දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ වැව් විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදු ව ඇති බව පෙන්වා දී ඇත. ජනධිපතිතුමා පැවසුවේ, ඉදිරි සංවර්ධන කටයුතු ද නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභ සලසා දෙන බවයි. වයඹ මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මෙම 24 වන දා ඇරඹෙන බව පැවසු ජනාධිපතිතුමා, මේ වන විට සාර්ථකව නිම වෙමින් පවතින මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘති හරහා ද ත්‍රිකුණාමලය නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ගැටලු රැසකට විසඳුම් හිමිවනු ඇතැයි සඳහන් කළේ ය.