දුම්රිය වර්ජනයෙන් රු. මිලියන 70ක පාඩුවක්

දුම්රිය වර්ජනයෙන් රු. මිලියන 70ක පාඩුවක්

by Staff writer 11-08-2018 | 5:33 PM
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයෙන් මේ වන විට රුපියල් මිලියන 70ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොල මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලියන 17ක් පමණ වන බව ය. දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් හා භාණ්ඩ බෙදා හැරීම ද ඇණහිට තිබේ. දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති මගීන්ට මුදල් ආපසු ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ය. මේ අතර අද දිනයේ ඉන්ධන දුම්රියක් සහ මගී දුම්රියක් ධාවනය කෙරිණි. එම දුම්රියන් ධාවනය වූයේ ඉන්ධන රැගෙන කටුනායක ගුවන්තොටුපොළට සහ මගීන් රැගෙන කොටුවේ සිට මොරටුවට සහ මොරටුවේ සිට වේයන්ගොඩ දක්වා යි. මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, සේවකයින් වැඩ වර්ජනය අත්හරින තෙක් සාකච්ඡා නොකරන බව ය. මේ පිළිබඳව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, තමන් ද වර්ජනය අතහැර සාකච්ඡාවට නොපැමිණෙන බව ය.