මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගට ලබා දුන් රු. බිලියන 10ක ණය පහසුකම පිළිබඳව තවත් හෙළිදරව්වක්

මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගට ලබා දුන් රු. බිලියන 10ක ණය පහසුකම පිළිබඳව තවත් හෙළිදරව්වක්

මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගට ලබා දුන් රු. බිලියන 10ක ණය පහසුකම පිළිබඳව තවත් හෙළිදරව්වක්

කර්තෘ Staff writer

11 Aug, 2018 | 8:09 pm

COLOMBO (News 1st) – ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.

එම්.ටී.ඩී. වෝර්කර්ස් නමැති සමාගමේ විධායක උප සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.

මේ පුද්ගලයා මහජන බැංකුවෙන් වෝර්කර්ස් සමාගමට රුපියල් බිලියන 10ක ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ කථාබහට ලක්වී තිබේ.

අධ්‍යක්ෂ ධූරයක් දරණ බැංකුවෙන් තමන්ගේ වෙනත් සමාගමකට මේ අයුරින් ණය ලබා ගැනීම සාධාරණ ද? නීත්‍යානුකූල ද?

මහජන බැංකුව මෙම ගනුදෙනු පිළිබඳව වරින් වර පැහැදිලි කිරීම් කරමින් පැවසුවේ එය නිසි අයුරින් සිදුව ඇති බව ය.

බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා යළිත් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, සමාගමේ ව්‍යාපාර පරිමාව හා ණය ආපසු ගෙවීමේ හැකියාව ආදිය සලකා අදාළ ණය පහසුකම් ලබා දී ඇති බව ය.

ජෙහාන් අමරතුංග මහතා සහ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගම නීතිය ඉදිරියේ වෙන වෙනම සලකන පාර්ශව දෙකක් බැවින් මේ ගනුදෙනුවේ ගැටලුවක් නොමැති බව හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අදහස වී තිබේ.

ඔහු පවසන ආකාරයට මහ බැංකුව පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් අවශ්‍යතා මහජන බැංකුව මේ ගනුදෙනුවේදී අනුගමනය කර තිබේ.

නමුත් හිටපු ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරියෙකු වන රුසිරිපාල තෙන්නකෝන් මහතා පවසන්නේ, මේ ගනුදෙනුවේ ගැටලු ගණනාවක් ඇති බව ය.

ඔහු මේ ගැටලුවලට විසඳුම් දෙන්නැයි ඉල්ලා මහ බැංකුවේ අධිපතිවරයාට ලිපියක් ද යවා තිබේ.

රුසිරිපාල තෙන්නකෝන් මහතා පවසන පරිදි බිලියන 10ක් වැනි විශාල ණය පහසුකමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු සිටින සමාගමකට ලබා දීමේදී බැංකුවේ විගණන කමිටුවෙන් අනුමත කළ යුතුයි.

මහජන බැංකුවේ විගණන කමිටුවේ සභාපතිවරයා ලෙස 2010 වසරේ සිටම කටයුතු කරන්නේ ජෙහාන් අමරතුංග මහතා යි.

ඒ අනුව මෙම ණය පහසුකම් වෝර්ක්ස් සමාගමට ලබා දීමේදී අමරතුංග මහතාගේ බලපෑමක් සිදු නොවූ බවට තර්ක කරන්නේ කෙසේ දැයි රුසිරිපාල තෙන්නකෝන් මහතා ප්‍රශ්න කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාවේදී සිදු වූයේත් මේ දෙයම නොවේ ද?

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා බෑනාගේ සමාගමට වාසි වන අයුරින් ගනුදෙනු හැසිර වූ බව ජනාධිපති කොමිසම හමුවේ දැන් අනාවරණය වී තිබේ.

දැන් උත්සහ දරමින් සිටින්නේ නිසි පරීක්ෂණයක් සිදු කර කරුණු සොයා බැලීම වෙනුවට බැඳුම්කර වංචාව ආරක්ෂා කිරීමට කටයුතු කළ අයුරින්ම ජෙහාන් අමරතුංග මහතා මැදිහත්වූ ගනුදෙනු සාධාරණීකරණය කිරීමට නොවේ ද?

මේ අතර රාජ්‍ය බැංකුවලට කෙරෙන දේශපාලන මැදිහත් වීම් මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි බැංකු සේවක වෘත්තීය සමිති පවසයි.

ලංකා බැංකු සේවක සංගමය පැවසුවේ, සේවකයින් 10 දෙනෙකුට සති දෙකක් තුළ උසස් වීම් ලබා දෙන්නැයි දේශපාලන මැදිහත් වීමකින් මහජන බැංකුවේ සභාපතිවරයාට නියෝගයක් ලැබී ඇති බව ය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, මෙවැනි ලැයිස්තුවක් තමන් විසින් බැංකුවට යොමු නොකළ බව ය.

නමුත් පක්ෂය විසින් පත් කළ කමිටුවකින් කළ නිර්දේශ ඇමති මණ්ඩලයට යවා තිබූ බව ඔහු පැවසුවේ ය.

රටේ ජනතාවගේ මුදලින් නඩත්තු වන ආයතනවලට හිතූ හිතූ අයුරින් මැදිහත් වී ඒවා විනාශ කිරීමට උත්සහ දරන්නේ ඇයි?

බැඳුම්කර වංචාවේදී තවත් රජයේ බැංකුවක් වූ ලංකා බැංකුව තමන්ට ලාභ ලබා ගැනීමට හැකියාව තිබියදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් රුපියල් බිලියන 13ක් ලංසු තැබූ අයුරු රටේ ජනතාවට අමතක නැත.

අවසානයේ බැංකුව පර්පෙචුවල් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වැය කර ලාභය සමාගමට අත්කරදී තිබිණි.

දැන් මහජන බැංකුව එහි අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග විධායක උප සභාපති ධූරය දරණ සමාගමට බිලියන ගණනින් ණය ලබා දී තිබේ.

මේ ණය මුදලින් කොටසක් යොදවා ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා ගත් වෝර්කර්ස් සමාගමේ ඇපකරයක් ලෙස ය.

මේ කොටසේ ඉදිකිරීම් සඳහා ණය ලබා දෙන්නේ ද මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු විසිනි.

ණය දෙන බැංකුවක් කොන්ත්‍රාත් සමාගමට ඇපකර ලබා දීම ද රටේ ජනතාව මවිතයට පත් වන සිදු වීමකි.

මේවා ගැන ප්‍රශ්න කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා අවස්ථා දෙකකදී කෙටි පැහැදිලි කිරීම් කරමින් අප වෙත ලිපි එවා තිබිණි.

මෙවර ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, සති අන්ත පුවත්පත් ඉලක්ක කර ගනිමිනි.

හොඳින් සිතා බලා මේ නිවේදනය සකස් කර ඇති අතර ඊට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට ද කටයුතු කර තිබේ.

ජනතාවගේ මුදල් විනාශ කරමින් වංචාව ආරක්ෂා කිරීමට උත්සහ දැරීම තරම් ලැජ්ජා සහගත තවත් දෙයක් තිබේ ද?

මහජන බැංකුවේ සභාපතිතුමනි, මෙවැනි ගනුදෙනු වසන් කරමින් ඒවා පිටුපස සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට යාමෙන් සිදු වන්නේ ඔබේ කීර්ති නාමයත් රටේ ජනතාව ඉදිරියේ හෑල්ලු කර ගැනීම නොවේ ද?

ජෙහාන් අමරතුංග පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ගාමිණි සෙනරත් නමැත්තා සමග සමීපව කටයුතු කළ අයෙකි.

මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහු පත් වන්නේ ද ගාමිණි සෙනරත් නමැත්තාගේ ආශිර්වාදයෙනි.

බරපතල වංචා දූෂණ විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුවේ අධි චෝදනා ලැබූ කිහිප දෙනා අතර ගාමිණි සෙනරත් නමැත්තා ද වේ.

මෙවැනි පුද්ගලයින් සමග ගනුදෙනු කළ ජෙහාන් අමරතුංග වැනි පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළත් මෙවැනි කටයුතු කරන්නේ කාගේ ආශිර්වාදයෙන් ද?

මෙවැනි ගනුදෙනු වළක්වා ගැනීමට නොහැකි බැංකු සභාපතිවරුන්ට රටේ ජනතාව නම් කියන්නේ දැන් ඉල්ලා අස්වීමට කාලය පැමිණ ඇති බව ය.

එසේ නොවුණහොත් ජනතා මුදල් විනාශ කරන පුද්ගලයින් ජනතාව ඉදිරියේදීම විලිලැජ්ජාවට පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇති.