ගාමිණි සෙනරත්ට කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇතුළු 4 දෙනාට නියෝග

by Staff writer 10-08-2018 | 1:33 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනා හට නොතීසි ලද විගස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ රජයට අයත් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි. අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ගාමිණි සෙනරත්, පියදාස කුඩා බාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන සැකකරුවන් සිව්දෙනා ය. එම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙන ලදී. ඒ අනුව අධිකරණයේ අවසරය ඇතිව විදේශගත වීම සඳහා අධිකරණයෙන් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍ර යළි අධිකරණයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය පළමු හා දෙවන සැකකරුවන්ට නියෝග කළා ය.