රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම ඉහළට

වසර 3ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 290කින් ඉහළට

by Staff writer 10-08-2018 | 7:43 AM
COLOMBO (News 1st) - පසුගිය වසර 3 ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 290කින් ඉහළ ගොස් තිබේ. මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2015 වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රජයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 415ක් වූ බව ය. මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන 705කි. 2015 වසරේ අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීම එලෙස රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වියදම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් විය. එම යෝජනාවට අනුව 2016 වසරේදී අවම වැටුප් ලබන පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 10,000කින් ඉහළ දමනු ලැබී ය. එය 90% ක පමණ වැටුප් වැඩි වීමකි. ඊට සාපේක්ෂව ඉහළ නිලධාරියෙකුගේ වැටුප 2020 වසර වන විට 90% කින් ඉහළ යනු ඇති. 2015 වසරේ සම්මත වූ අයවැය යෝජනාවට අනූව 2016 වසරේ සිට 2020 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ රාජ්‍ය සේවක වැටුප ඉහළ යාමට නියමිත ය. ඒ අනුව 2015 පැවති වැටුප්වලට සාපේක්ෂව 2020 වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107% කින් ඉහළ යා යුතු වේ. මේ දිනවල වැඩ දීමනා ඉල්ලා සිටින වෛද්‍යවරුන් දැනට රාජ්‍ය සේවයේ ඉහළ ම වැටුප් ලබන්නන් ය. ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 164000කි. දීමනා ද ඇතුළත්ව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පළමු මාසික වැටුප රුපියල් 250000කි. වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය පසුගියදා එකඟතාව පළ කළේ ය. ඒ අනුව වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000කින් එම දීමනාව ඉහළ නැංවෙනු ඇති. එහෙත් වැඩි කිරීමට සූදානම් වන එම දීමනාව ප්‍රතික්ෂේප කරන රජයේ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ, රුපියල් 85000ක දීමනාවකි. මේ හේතුවෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ඉරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් සේවකයින් පෙරේදා පස්වරු 3.00 සිට වැඩ වර්ජනයක නිරත වන්නේ ද තම මූලික වැටුප රුපියල් 56205ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලමිනි. ඔවුන් මේ වන විට ලබන මූලික වැටුප රුපියල් 44600ක් බව මහා භාණ්ඩාගාරය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දීමනා ද ඇතුළත්ව ඔවුන් රුපියල් 250,000කට ආසන්න මාසික ඒකාබද්ධ වැටුපක් ලබන බව ය. මේ හේතුවෙන් ඔවුන් මාසික ඒකාබද්ධ වැටුපට මසකට රුපියල් 10,000ක් පමණ උපයන විට බදු ගෙවන අවස්ථා ද පවතින බව මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය. මොවුන් ඉල්ලා සිටින වැටුප් වැඩී වීම ලබා දෙන්නේ නම් ඉන් රාජ්‍ය අංශයේ විශාල වැටුප් විෂමතාවක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද අදාළ ප්‍රකාශකයා පැවසුවේ ය. දිනෙන් දින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ ගිය ද ඊට සරිලන කාර්යක්ෂමතාවක් පවතින්නේ ද යන්න ගැටලු සහගත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ ය. මේ අතර රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීම සඳහා ඉදිරියේදී කොමිසමක් පත් කරන බව මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ ය. එවැනි කොමිසමක් පත් කරන්නේ නම් රාජ්‍ය සේවයේ නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම මුල් කර ගනිමින් එය සිදුවිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ ය.