රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්

රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්: යෝජනාව ලබන සතියේ ඇමති මණ්ඩලයට

by Staff writer 10-08-2018 | 8:07 PM

COLOMBO (News 1st) - දුම්රිය සේවකයින්ට පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කෙසේ වෙතත් වැටුප් සම්බන්ධ අර්බුදයක් මුල්කර ගනිමින් ආරම්භ වූ දුම්රිය වර්ජනය තවමත් අවසන් කර නොමැත. දුම්රිය සේවකයින්ගේ වැටුප් තල, රාජ්‍ය සේවයේ එම් දෙක වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද ත් දුම්රිය ධාවනයට බාධා ඇති විණි. රියැදුරු යාන්ත්‍රික පරීක්ෂකවරු යොදවා අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබු අතර මගීන් එම දුම්රියවලින් ගමන් කළේ ප්‍රවේශ පත්‍ර ද රහිතවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අද උදෑසන 8.00 න් පමණ පසුව ගම්පහ, කුරුණෑගල, මහනුවර ඇතුලු ප්‍රධාන දුම්රිය ස්ථානවලින් කිසිදු දුම්රියක් ධාවනය නොකළ බවය.