දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය සැරසෙයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය සැරසෙයි

by Staff writer 10-08-2018 | 6:52 AM
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මතුව ඇති තත්ත්වය අනුව දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ, ඉල්ලීම් ඉටුවන තුරු වර්ජනය අත් නොහරින බව ය. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මගී ජනතාවට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව ය. ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ය. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ, පෙරේදා පස්වරු 3.00ට ය. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 3 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හමුවේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කළ බව ය. මේ අතර වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ඕනෑම් මොහොතක සූදානම් බව අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම කෙරෙහි අමාත්‍යංශයේ අවධානය නිරන්තරයෙන් යොමුව ඇති බව ය. වර්ජනය සමග මාසික වාර ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ මගීන් සඳහා වර්ජනය අවසන් වීමෙන් පසු අතිරේක දින දෙකක කාලයක් ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ දිනවල සිදු නොවන බව ය. ඒ අනුව මේ මාසයට අදාළ වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා එලෙස අතිරේක දින වෙන් කිරීමට නියමිත ය. වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ, පාර්සල් සම්බන්ධයෙන් මගීන්ට ඇති ඕනෑම ගැටලුවක් දුම්රිය ස්ථාන වෙත යොමු කිරීමට හැකියාව පවතින බව ය. ඒ අනුව මෙතෙක් ලැබී නොමැති හෝ ගැටලු පවතින පාර්සල් සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් අනුව සොයා බැලීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ක්‍රියාත්මක දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් වන මගී ජනතාව වෙනුවෙන් බස් රථ 6000ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ය. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමියන්ට ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පවතින තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක සිය භට කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව යුද හමුදාව පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍යංශයෙන් ලැබෙන ඉල්ලීම් අනුව හමුදා භට පිරිස් අනුයුක්ත කරන බව ය.