පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද

පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද

by Staff writer 10-08-2018 | 7:08 AM
COLOMBO (News 1st) - නව මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද සංශෝධනය වීමට නියමිතව තිබේ. ඒ, සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණයට අනුව ය. මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වන බව ය. එය මහා භාණ්ඩාගාර සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සමන්විත වේ. අද සිදු වන මිල සංශෝධනය පිළිබඳව තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ යයි ද? මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය මාසයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්වල බරපතල වෙනසක් සිදුව නොමැති බව ය. ඒ අනුව අද සිදු වීමට නියමිත මිල සංශෝධනයෙන් දැඩි බලපෑමක් නොවනු ඇතැයි ද ඔහු පැවසුවේ ය. අවසන් වරට ප්‍රෙටල් සහ ඩීසල් මිල සංශෝධනය වූයේ, පසුගිය මස 10 වන දා ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමිණි. ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද පසුගිය ජූලි මාසයේ ඉහළ ගියේ ය.