විද්‍යා ඝාතනය: විත්තිකරුවන්ගේ අභියාචනා සලකා බැලෙයි

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට

by Staff writer 09-08-2018 | 2:39 PM

COLOMBO (News 1st) - යාපනයේදී විද්‍යා දැරිය සමූහ ලෙස දූෂණය කර ඝාතනය කිරීම ඇතුලු චෝදනාවලට වරදකරුවන් කර යාපනයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් 7 දෙනා ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

ඒ අනුව පෙත්සම කැඳවීම ලබන දෙසැම්බර් 13 වන දා සිදු කරනු ඇති. මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තමනට නියම කළ මරණීය දණ්ඩන නියමයන් වන්දි හා දඩ ගෙවීමට කළ නියෝගයන් අහෝසි කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් 7 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණි. ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුව විභාග කළ එවකට වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ බාලචන්ද්‍රන් ශිෂි මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ අතර ඊට අමතරව වසර 30 බැගින් වූ සිර දඩුවම් ද නියම කර ඇත. ඝාතනයට ලක් වූ පාසල් සිසුවියගේ මවට රුපියල් ලක්ෂ 10 බැගින් වූ වන්දි ගෙවන ලෙසට ද එහිදී නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 5 දෙනෙකුට රුපියල් 40,000 බැගින් වූ දඩයකුත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 70,000 බැගින් වූ දඩයකුත් ගෙවීමට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2017 සැප්තැම්බර් 27 වන දා නියම කළේ ය.