ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.2 භූ චලනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.2 භූ චලනයක්

by Staff writer 09-08-2018 | 11:41 AM

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තව ත් ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ.

එහි ප්‍රභලත්වය සඳහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6. 2 ක් ලෙසයි. මෙම භූ චලනය හමුවේ ලොම්බොක් දිවයිනේ ගොඩනැගිලි කිහිපයක් කඩාවැටුණු බව ඉන්දුනීසියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ හමුවේ බියට පත් ඉන්දුනීසියා වැසියන් නිවෙස් අතැර හිස් ලූ ලූ අත දිවගොස් ඇති බව සිද්ධිය දුටුවන් සඳහන් කළහ. මේ අතර ඉකුත් ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 347 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ප්‍රභලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 6. 9 ක් ලෙසයි. මෙම භූ චලනයෙන් පුද්ගලයන් 1447 ක් තුවාල ලබා තව ත් 165,000 ක උන් හිටි තැන් අහිමි වූ බව ඉන්දුනීසියා රජයේ මාධ්‍ය වාර්තා කළේ ය. ලොම්බොක් දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවලින් 80% ක්ම මෙම භූ චලනයේ බලපෑම හමුවේ විනාශ වූ බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හමුවේ ලොම්බොක් සහ ගිලි දූපත්වලින් විදේශික සංචාරකයන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළයනු ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ.