ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 09-08-2018 | 4:59 PM
COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම, පර්පෙචුවල් කැපිටල් පුද්ගලික සමාගම, පර්වේචුවල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම යන සමාගම් 5ට අයත් බැංකු ගිණුම් විස්තර මේ මස 24 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන 13 කට අද නියෝග කළේ ය. පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම විසින් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලදී අයථා ලෙස උපයා ගත්තේ යැයි, කියන මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විමර්ශන සඳහා එම බැංකු ගිණුම් වාර්තා ඉල්ලා තිබිණ. එම ඉල්ලීම් මෙම සමාගම් විසින් විවිධ හේතු දක්වමින් පැහැර හැර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළේ ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම විසින් උපයාගත් මේ වනවිට ශ්‍රි ලංකා මහබැංකුව විසින් තහනමට ලක් කර ඇති රුපියල් බිලියනයකට අධික මුදල එම සමාගමට ආපසු මුදා හැරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 23 වන දා ලිඛිතව කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට නියෝග කළේ ය.