තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්

තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්

තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්

කර්තෘ Staff writer

09 Aug, 2018 | 8:45 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 3 කින් ජය ගත්තේ ය.

කෙසේ නමුත් තරග 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

වර්ෂාවන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ ආරම්භ වීම ප්‍රමාද වූ අතර එක් පිලකට පන්දුවාර 39 කට සීමා වූ තරගයක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ.

තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ක්වින්ටන් ඩී කොක් තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 61 කට සීමා කරමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 කට දැවි ගියේ ය.

උපුල් තරංග ලකුණු 3 කට දැවී ගිය අතර සිය 200 වැනි එක්දින තරගයට එක් වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22 ක් පමණි.

එක්දින දිවියේ 11 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කුසල් ජනිත් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 කි.

තිසර පෙරේරා සමගින් එක් වූ දසුන් ශානක 7 වැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 109 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.

එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දසුන් පන්දු 34 කින් ලකුණු 65 ක් රැස් කළේ ය.

එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළ තිසර පෙරේරා නොදැවී ලකුණු 51 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 2 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 21 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විණි.

අනතුරුව නැවතත් තරගය ආරම්භ වූ අතර ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 21 කදී දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 191 ක් ය.

හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී කොක් පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

අම්ලා සහ ජේ. පී. ඩුමිනි අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 57 ක් වේ.

ලකුණු 40 කට අම්ලා පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් විණි.

ඩුමිනි ලකුණු 38 යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස දකුණු අප්‍රිකා පිතිකරුවන් පස්දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත.

නියමිත පන්දුවාර 21 අවසන් වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 9 ක් දැවි ලකුණු 187 ක් රැස් කරගෙන සිටියේ ය.

සුරංග ලක්මාල් ලකුණු 46ට කඩුලු 3 යි.

තිසර පෙරේරා ලකුණු 32ට කඩුලු 2 ක් දවා ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග 11 ක පරාජයකට පසුව ලැබූ පළමු එක්දින තරග ජයග්‍රහණය මෙය වේ.