ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

කර්තෘ Hashini De Mel

09 Aug, 2018 | 6:38 am

COLOMBO (News 1st) 

දේශීය පුවත්

1. දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක: දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ පස්වරු 3.00 සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

2. චීනයෙන් කලාකරුවන්ට නිවාස: කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ යෝජනා 32 කට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

චීන ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

3. යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම නියම කෙරේ: යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කළේ ය.

ඒ, විමර්ශන සඳහා රැගෙන ගිය යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවන් වීම හේතුවෙනි.

4. තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක්: ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරියේදී මෙරට තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

5. ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 6 වසරක සිර දඬුවම්: අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩසහිත වසර 6ක සිර දඬුවමක් අභියාචනාධිකරණය අද නියම කළේ ය.

ඒ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමිනි.

විදෙස් පුවත්

6. කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන තැන ගැන අර්බුදයක්: අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබේ.

ඒ , ඩී. එම්. කේ. පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසළ කරුණානිධිගේ ස්මාරකය ද ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ව්‍යාපාරික පුවත්

7. බිත්තර හා කුකුළු මස් මිල ඉහළට: බිත්තර හා කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

පාරිභෝගිකයින් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 20 ත් 22 ත් අතර මිලකට අළෙවි වන බවයි.

කුකුළු මස් මිල ද කිලෝග්‍රෑමයක් රුපියල් 500 ත් 600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.