යුදහමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම

යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම නියම කෙරේ

by Staff writer 08-08-2018 | 7:12 PM
COLOMBO (News 1st) - යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, විමර්ශන සඳහා රැගෙන ගිය යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවන් වීම හේතුවෙනි. ඔවුන්ට දඬුවම් නියම කළේ, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා විසිනි. 1998 සැප්තැම්බර් මස 10 වන දා යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේ තිර්නෙල්වේලි ප්‍රදේශයේදී ඥානසිංහම් ඇන්ටන් ගුණසේකරම් නමැති සැකකරු රැගෙන ගොස් පහර දී ඝාතනය කළ බවට අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි. මෙලෙස මරණ දඬුවම නියම වූයේ, යුද හමුදා මේජර් ඩික්සන් රාජමන්ත්‍රී සහ කෝප්‍රල් ප්‍රියන්ත රාජකරුණා යන හමුදා සාමාජිකයින්ට ය. නඩුවේ තවත් විත්තිකරුවෙකු වූ ලුතිනන් කර්නල් ටෝනි බර්තලමියුස් මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, දඬුවම් නියම වූ හමුදා සාමාජිකයින් දෙදෙනා අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සහය ඉල්ලා සිටිය හොත් යුද හමුදාව සහය ලබා දෙන බව ය.