චීනයෙන් කලාකරුවන්ට නිවාස

චීනයෙන් කලාකරුවන්ට නිවාස: කෞතුකාගාරයක් ඉදිකිරීමටත් සැලැස්මක්

by Staff writer 08-08-2018 | 7:28 PM
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ යෝජනා 32කට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. චීන ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමක් පරිදි කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර දෙරට අතර ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන කෞතුකාගාරයක් ද චීන අරමුදල් යොදා ඉදිකිරීමට නියමිත ය. මෙය මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා නාවික හමුදාව විදේශීය වෙළෙඳ නෞකා සඳහා සපයනු ලබන මුහුදු ආරක්ෂක සේවා පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ නෞකා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරන පෞද්ගලික සමුද්‍ර ආරක්ෂණ සමාගම්වලට අයත් ගිනිඅවි සහ උපාංග මෙහෙයුම් අවශ්‍යතා මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ප්‍රවාහනය හා ගබඩා කිරීම නියාමනය කිරීම ඒ තුළින් සිදු කිරීමට අපේක්ෂිත ය. මේ අතර රුසියාව හා ශ්‍රී ලංකාව අතර සංග්‍රාමික තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සහයෝගීතා ලේඛනයට අත්සන් තැබීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිසර හිතකාමී බස් රථ 1000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර හංගේරියානු ආනයන අපනයන බැංකුවේ මූල්‍ය සහය ඇතිව එරට සමාගමක් සමග මේ සඳහා එකඟතාවට එළැඹීමට නියමිත ය. මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි බලයෙන් දිවෙන බස් රථ 250ක් හා දෙමුහුන් බස් රථ 750ක් ගෙන්වීමට නියමිතව තිබේ.