PE+ සන්නාමය ව්‍යාජ ලෙස භාවිත කළ ආයතනයකට දඩ

PE+ සන්නාමය ව්‍යාජ ලෙස භාවිත කළ ආයතනයකට අධිකරණයෙන් දඩ නියම කෙරේ

by Staff writer 07-08-2018 | 5:10 PM
COLOMBO (News 1st) - පී.ඊ. ප්ලස් වෙළෙඳ සන්නාමය භාවිත කරමින් අනවසරයෙන් නිෂ්පාදන සිදු කළ වෙළෙඳ ආයතනයකට එරෙහිව අද පියවර ගනු ලැබුවේ ය. ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ය. පී.ඊ. ප්ලස් පුද්ගලික සමාගම විසින් අදාළ නඩුව පවරනු ලැබුවේ, එම සමාගමේ වෙළෙඳ ලකුණ ව්‍යාජ ලෙස අනුකරණය කර තවත් ආයතනයක් විසින් ටයිල් හා යකඩ කැපීමට යොදා ගන්නා ඩයමන්ඩ් හා කටින් ඩිස්ක් නිෂ්පාදනය කර තිබීමට එරෙහිව ය. පී.ඊ. ප්ලස් සමාගමේ පාරිභෝගික සේවා ඇමතුම් අංකය, ඊමේල් ලිපිනය හා කර්මාන්ත ආයතනයේ ලිපිනය ද අදාළ ආයතනය විසින් අනුමැතියකින් තොරව බහාලුම් පෙට්ටියේ යොදා ඇතැයි පැමිණිල්ලේ සඳහන් ය. මේ හේතුවෙන් පී.ඊ. ප්ලස් සමාගම වෙනුවෙන් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ, අදාළ ආයතනය විසින් මහජනයා නොමග යවමින් බුද්ධිමය දේපළ පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව ය. එය අසාධාරණ වාණිජ තරගකාරිත්වයක් පවත්වාගෙන යාමක් බවත් බුද්ධිමය දේපළ පනත යටතේ පී.ඊ. ප්ලස් වෙළෙඳ ලකුණේ නීත්‍යානුකූල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් අධිකරණයට කරුණු පෙන්වා දුන්නේ ය. මෙම චෝදනාවන්ට අදාළව මීට පෙර අවස්ථා කිහිපයකදීම වරද පිළිනොගත් අදාළ ආයතනයේ නිලධාරීහු අද අධිකරණයේදී වරද පිළිගත්හ. ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔවුන්ට රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළේ ය. එය බුද්ධිමය දේපළ පනත යටතේ පැනවිය හැකි ඉහළ ම දඩයකි. මීට අමතරව ව්‍යාජ නිෂ්පාදන විනාශ කරන ලෙසට අදාළ ආයතනයට අධිකරණය නියෝග කළේ, පැමිණිලිකාර පී.ඊ. ප්ලස් සමාගමේ ඉල්ලීම පරිදි ය. පසුගිය කාල සීමාව තුළ කෙසෙල්වත්ත පොලීසිය විසින් කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස කොළඹ බන්ඩාරණායක මාවතේ ආයතනයකින් පී.ඊ. ප්ලස් සමාගමේ සන්නාමය භාවිත කර නිෂ්පාදනය කර තිබූ අදාළ ව්‍යාජ ඩයමන්ඩ් හා කටින් ඩිස්ක් තොගය සොයා ගනු ලැබී ය.