රු. මිලියන 27000ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක්

රුපියල් මිලියන 27000ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

by Staff writer 07-08-2018 | 7:32 PM
COLOMBO (News 1st) - තවත් රුපියල් මිලියන 27,176ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව තුළ රුපියල් මිලියන 9900ක් වෙන් වන්නේ සමෘද්ධි සහනාධාර වියදම් සඳහා වෙන් කරන ලද මුදල් නැවත මාරු කිරීම සඳහා ය. මෙම පරිපූරක ඇස්තමේන්තුව තුළ තවත් රුපියල් මිලියන 5246ක් පාසල් හා උසස් අධ්‍යාපනය වෙනුවෙන් නිදහස් වාර ප්‍රවේශ පත්‍ර ලබා දීම, ලාභ නොලබන මාර්ගවල ධාවන කටයුතු ඇතුළු කාර්යන් සඳහා ගමනා ගමන මණ්ඩලයට වෙන් කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන අදියර සඳහා රුපියල් මිලියන 4244ක් ද මේ තුළ ඇතුළත් ය. කඩවත කෙරවලපිටිය කොළඹ පිටත අධිවේගී මාර්ගයේ 3 වන අදියර සඳහා රුපියල් මිලියන 860ක් මෙම පරිපූරකය තුළ දක්වා තිබේ. තවත් රුපියල් මිලියන 853ක් මෙහි දක්වා ඇත්තේ, හම්බන්තොට වරායේ ගිවිසුමට පෙර කොන්දේසි සපුරාලීම සඳහා ය. මීට අමතරව ණය ආපසු ගෙවීම, සුවසැරිය පදනම සඳහා මුදල් යෙදවීම, උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ පරිපාලන වියදම්, වාහන මිලදී ගැනීම්, සමාජ සුබසාධන හා ප්‍රාථමික ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ විදේශ ගමන් වියදම් සඳහා මුදල් සැපයීම ඇතුළු වියදම් ගණනාවක් මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් ය. විගණකාධිපතිවරයාට අනුව මහ බැංකු බැඳුම්කර වංචා දෙකෙන් එක් මොහොතක සිදු වූ පාඩුව රුපියල් බිලියන 1.3කි. අවුරුදු 30කින් මේවා කල්පිරෙන විට සිදු වන පාඩුව තවමත් ගණනය කළ නොහැකි වී තිබේ. සේවක අර්ථසාධක අරමුදලට පමණක් වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 8 ඉක්මවයි. බැඳුම්කර වංචාව නිසා මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් උපයාගෙන ඇති ලාභය රුපියල් බිලියන 11 ඉක්මවයි. නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දී මේ මුදල් යළි අය කර ගත්තේ නම් පරිපූරක ඇස්තමේන්තුවලට ජනතාවගේ මුදල් යෙදවීමට අවශ්‍ය වන්නේ ද? මහජන බැංකුව එහි අධ්‍යක්ෂවරයෙකුගේ සමාගමකට දුන් රුපියල් බිලියන 10ක මුදල විධිමත් ලෙස කළමනාකරණය කළේ නම් ජනතා මුදල් යළි වියදම් කිරීමට පරිපූරක අවශ්‍ය වන්නේ ද? අධිවේගී මාර්ගවලින් සිදු කරන ජනතා මුදල් කොල්ල කෑම්, ටැබ් පරිගණක ගනුදෙනු, කිරි හරක් ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතා, මැති ඇමතිවරුන්ගේ සුපිරි වාහන ගෙන්වීම, ශ්‍රීලංකන් ගුවන් සමාගම වැනි පාඩු පිට පාඩු ලබන ආයතනවල සිදු වන වංචා වැනි දේවල් වළක්වා ගැනීමට නිසි පියවර ගත්තේ නම් පරිපූරක ඇස්තමේන්තුවලට මහජන මුදල් දිගින් දිගටම යෙදවීමට සිදු වෙයි ද?