පනලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක්

පනලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක්

by Staff writer 07-08-2018 | 6:50 AM
COLOMBO (News 1st) : උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහි වරදකරුවන්ට එරෙහිව වන පුද්ගලයින් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බවයි. ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් පුද්ගලයින් තිස් දෙදෙනකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූවන් කුරුණෑගල ,පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. කුරුණෑගල රෝහලට හත් දෙනෙකු , පොල්ගහවෙල රෝහලට දස දෙනෙකු සහ කෑගල්ල රෝහලේ පුද්ගලයින් තුන්දෙනෙකු සහ රඹුක්කන රෝහලේ පුද්ගලයින් දොළොස්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති. තවත් සුළු තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව දුම්රිය සාමානාධිකාරිවරයා සඳහන් කළේ ය. මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රි තැපැල් දුම්රිය ද අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය සංඥා නොමැති වීම හේතුවෙන් අතර මග නතර කර ඇති බවයි. එහිදී කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටලය නතර කර තිබූ දුම්රියේ පිටු පස ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. මේ අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා කොළඹින් ඊයේ රාත්‍රි ආපදා රථයක් පිටත් කර යැවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. අනතුරින් දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුව තිබේ.