පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

by Sagarika Chathumali 07-08-2018 | 11:57 AM
COLOMBO (News 1st) : උඩරට මාර්ගයේ, පනලියේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ, අනතුර සිදුකළ දුම්රිය රියැදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා පරීක්ෂණ පවත්වන ලෙසට ද අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාට උපදෙස් දී ඇති බවයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටයි. කිසිදු අයුරකින් මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවෙකු වන අයට තරාතිරම නොබලා විනයානුකුල දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ ය. දුම්රිය සේවාව පිළිබඳව ජනතාව අතර ගොඩනැගෙමින් පවතින විශ්වාසය මෙවැනි අපරික්ෂාකාරී දුම්රිය රියැදුරන්ගේ ක්‍රියා තුළින් බිඳ වැටෙන අතර එය කනාගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පවසා තිබේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, දහස් ගණනක මගී ජනතාවගේ ජීවිත පිළිබඳව වඩාත්ම සැළකිලිමත්ව දුම්රිය රියැදුරන් කටයුතු කළ යුතුව ඇති බවයි. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර, පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා කමිටුවක් පත්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේ ය. ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 32කි. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය සංඥා නොමැතිව නතර කර තිබියදී කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වු, බලවේග කට්ටලය අදාළ දුම්රියේ පිටු පස ගැටීමෙන් එම අනතුර සිදුවිය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේ, අදාළ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.