by Staff writer 07-08-2018 | 5:40 PM
COLOMBO (News 1st) - පනලියේදී සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොය බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් පිටුපසින් පැමිණි දුම්රියේ රියැදුරු, සහයක, නියාමක හා උප නියාමකගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 32කි.
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා පොල්ගහවෙල හා රඹුක්කන අතර පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කර තිබේ.
මෙම දුම්රිය නතර කර ඇත්තේ, පනලිය දුම්රිය ස්ථානයට කිලෝමීටරයක පමණ දුරකිනි.
කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනයවූ බලවේග කට්ටලය නවතා තිබූ දුම්රියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදු විය.
මේ අතර අලුත්වැඩියාවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කර තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අනතුරින් අලාභහානි වූ එක් මාර්ගයක දුම්රිය ධාවනය අද පෙරවරු 7.00 සිට ආරම්භ කළ බව ය.
අලාභහානි වූ අනෙක් දුම්රිය මාර්ගය අද පස්වරු 1.45ට පමණ යාථා තත්ත්වයට පත් කළ බව පාලක මැදිරිය සඳහන් කළේ ය.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය ලෙස ධාවනය වන බව ය.
අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරිණි.