ද. අප්‍රිකා නායකයාට ඉදිරි තරග අහිමි වෙයි

ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි

by Sagarika Chathumali 07-08-2018 | 8:10 AM
News 1st : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි. ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ප්ලෙසිස්ගේ ආබාධ තත්ත්වය සුව වීමට තවත් සති 6 ක පමණ කාලයක් ගතවන බවයි. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයට නායක ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට තවමත් ක්‍රීඩකයෙකු නම් කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ විට දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ඩන් ඩී කොක් හෙට තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඉඩ ඇති බවයි. ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහි තුන්වන එක්දින තරගයේදී විවේක ගැන්වූ එයිඩන් මාක්රම් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරග 2 ක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය  ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විටත් සමත්ව සිටී. දෙරට අතර සිව්වන එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.