දේශපාලනඥයින් දේශපාලනය අතහැර රට වෙනුවෙන් සේවය කළ යුතුයි - අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය කියයි

by Staff writer 07-08-2018 | 8:45 PM
COLOMBO (News 1st) - අබාන්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය 2017 වසරේ හොඳ ම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය. මෙය පිරිනැමුවේ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයෙනි. 1968 වසරේදී ව්‍යාපාර ලෝකයට අබාන් පෙස්ටොන්ජි මහත්මිය පැමිණියේ, කාන්තාවන්ගේ දෛනික කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ සහ මෙවලම් වෙළෙඳපොළට හඳුන්වා දෙමිනි. ලෝකයට විවෘත නොවූ අර්ථ ක්‍රමයක් පැවති 60 දශකයේදී මෙරට වාසය කළ විදේශිකයින් භාවිත කළ භාණ්ඩ හා උපකරණ වෙන්දේසිවලින් ලබා ගනිමින් තම ව්‍යාපාර කටයුතු ඇය ආරම්භ කළා ය. ඇගේ ප්‍රධාන අරමුණ වුයේ, පාරිභෝගිකයා සතුටු කිරීම ය. තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සන්නාම තම ව්‍යාපාර ජාලයට එක්කර ගැනීමට ඇය සමත් වූවාය. බම්බලපිටිය ප්‍රදේශයේ කුඩා සාප්පුවකින් ආරම්භ කළ තම ව්‍යාපාර සමූහය අද වන විට ශාඛා 500කින් සමන්විත ය.