ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි

ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි

by Staff writer 07-08-2018 | 11:46 AM
News 1st : ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි අමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවයි. ඒ අනුව ඉරානයේ වාහන කර්මාන්තය, රත්‍රං සහ අනෙකුත් ප්‍රධාන ලෝහ කර්මාන්තය ඉලක්ක කර පැනවෙන ඇමෙරිකානු සම්බාධක අද සිට ක්‍රියාත්මක වනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ඉරානය ආර්ථික පීඩනයට ලක් කිරීම තුළින් නව එකඟතාවක් ඇති කර ගැනීමට මෙන්ම අහිතකර ක්‍රියාකාරකම් අවසන් කිරීමට හැකිවන බව ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන බවයි. මෙය මනෝමය යුද්ධයක් බව අමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානී කියා සිටියේ ය. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඉරාන ජනපතිවරයා ප්‍රකාශ කළේ, අවසන් මෙහොතේ සාකච්ඡා පැවැත්වීම තමන් ප්‍රතික්ෂේප කළ බවයි. තමන් හැම විටම රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ සාකච්ජා සඳහා සූදානම් බවත් නමුත් එම සාකච්ජා තුළ අවංකභාවයක් තිබිය යුතු බවත් ජනපති හසන් රුහානී එහිදී අවධාරණය කළේ ය. මේ අතර සම්බාධක උල්ලංඝනය කරන පුද්ගලයින් හෝ ආයතනවලට බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනපතිවරයා අනතුරු අඟවා සිටියේ ය. ඇමෙරිකාව ඉවත් වුව ද බ්‍රතාන්‍ය , ප්‍රංශය , ජර්මනිය ඇතුළු අනෙකුත් සාමාජිකයින් 2015 න්‍යෂ්ටික ගිවිසුමට පක්ෂව කටයුතු කරන අතර රුසියාව සහ චීනය ඇමෙරිකාව ඉවත්වීම සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කළේ ය.