ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Sagarika Chathumali 07-08-2018 | 6:22 AM

COLOMBO (News 1st) දේශීය පුවත්

1. පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල : උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයෝ 32 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවෝ කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබති. 2. ‘ජාතික තිරසර කතිකාව’ එළිදැක්වෙයි : වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැකසෙන ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ කෙටුම්පත එළිදැක්විය. ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයේදී විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත ජනාධිපතිතුමාට භාර කෙරිණ. 3. රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක : රජයේ මුද්‍රණාල සේවකයින් ඊයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය. 3. දික්ඕවිටින් මුහුදු ගිය ‘ලිහිණි – 3’ නැවක ගැටෙයි : මෙරටට අයත් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, ධීවරයින් 6 දෙනෙකු සමග දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි – 3 නමැති ධීවර යාත්‍රාවයි. 4. උසස් පෙළ විභාගය ඇරඹෙයි : 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. විභාග කොමසරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනී සිටි බවයි. 5. ජෙහාන් අමරතුංගගේ ආන්දෝලනාත්මක රුපියල් බිලියන 10 ණය මුදල ගැන පරීක්ෂණයක් : මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග නමැත්තා විධායක උපසභාපති ධූරය දරණ සමාගමකට රුපියල් බිලියන 10 ක ණය ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතරණ මහතා පැවසී ය. 6. සෝමාවතිය සත්ත්ව ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට: දිය අගල් හා පොකුණුවලට වසවිස කවලම් කර සතුන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තව ත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍රවලට විෂ රසායනික මිශ්‍ර කර සතුන් මරා මස් සඳහා අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ පසුගිය දා තොරතුරු අනාවරණ විය.

විදෙස් පුවත්...

1. ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවූයේ, ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි.

ක්‍රීඩා පුවත්....

1. කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය.