කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

by Staff writer 07-08-2018 | 5:52 PM
COLOMBO (News 1st) - කඩවත ගෝනහේන මංසන්ධියේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා පළා ගොස් ඇති බව ය. වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය රන්මුතුගල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මිය ගොස් ඇත්තේ, කඩවත රන්මුතුගල පදිංචි 34 හැවිරිදි දෙදරු මවකි. ඇය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මිය ගිය කාන්තාවගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම කාන්තාවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව ඇය අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත්තේ, මීට මාසයකට පමණ පෙර ය. එම කාන්තාව නැවත අද මහර අධිකරණයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී ඇයට වෙඩි තබා තිබේ.