ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Sagarika Chathumali 06-08-2018 | 6:49 AM

COLOMBO (News 1st) දේශීය පුවත්

1. සෝමාවතියේ වන සතුන් මසට අලෙවි කිරීමේ ජාවාරමක් : සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිඳී ගොස් ඇති වැව්වල ජලය සොයා පැමිණෙන වන සතුන් මරා මස් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමන බවට අනාවරණය වී ඇති බවයි. 2. වාද්දුවේ සාදය ජීවිත තුනක් බිලිගනී : වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගී වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පෙරේදා රාත්‍රි සාදය අතරතුර හදිසියේ රෝගී වූ තරුණයින් 4 දෙනෙකු පානදුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ, ඊයේ පස්වරුවේයි. 3. සිසුවියක අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට : බිබිල ප්‍රදේශයේ පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාසල් ගුරුවරයා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. 4. මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට : මිනුවන්ගොඩ, යටියන මංසන්ධියේදී ඊයේ පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ය. 5. නි. පොලිස්පතිවරු 6ක් ඇතුළු නිලධාරීන් 20කට ස්ථාන මාරු : වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 6. මොනරාගල රිය අනතුරකින් දරුවෙකු ඇතුළු 3ක් මරුට : මොනරාගල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන මංසන්ධිය අසළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විදේශීය පුවත්...

1. වෙනිසුවෙලානු ජනපතිගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි : වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර කෙසේ වෙතත් ඉන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදු නොවී ය. 2. ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක් : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගැනිණ  එහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් වන බාලි වෙත ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ක්‍රීඩා පුවත්...

1. එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි.