ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට

ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට

by Staff writer 06-08-2018 | 6:24 AM

News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි. ඊයේ පස්වරුවේ හටගත් එම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7ක් ලෙසයි . මෙහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතට ද දැනී තිබුණු අතර ලොම්බොක් දිවයිනේ පුද්ගලයන් රැසක් සිය උන්හිටි තැන් අතහැර ආරක්ෂිත ස්ථාන කරා දිවගිය බව ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ ය. බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ, සුන්බුන්වලට යටවීමෙනි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවත් නිවාස දහස් ගණනකට හානි සිදුව ඇති බවත් ඉන්දුනීසියා බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ. භූ චලනය වන අවස්ථාවේ සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ද ලොම්‍බොක් දිවයිනෙහි සිටි අතර ඔහු ෆේස්බුක් වෙබ් අඩවියෙහි සටහනක් තබමින් කියා සිටියේ තමන් නැවතී සිටි හෝටලයේ දස වන මහලෙහි කාමරය ප්‍රබල සෙලවීමකට ලක්ව එහි බිත්ති ඉරිතලා ගිය බවයි . මෙම භූ චලනය හමුවේ ලොම්බොක් දිවයිනේ විදුලිය මෙන්ම සන්නිවේදන කටයුතු ද ඇණහිට තිබේ. භූ චලනයෙන් බියට පත් ජනතාව හේතුවෙන් බාලි සහ ලොම්බොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනිණ. කෙසේ වෙතත් ඉන් ගුවන්තොටුපොළ කටයුතුවලට බාධා සිදු නොවී ය. භූ චලනය හමුවේ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම මේ වනවිට ඉවත්කර ගැනීමට ද ඉන්දුනීසියා බලධාරීන් පියවර ගෙන තිබේ. ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනෙහි ඉකුත් ජුලි 29 වැනි දිනද මැග්නිටියුඩ් ඒකක 6 .4 ක භූ චලනයක් හටගත්තේ ය. ඉන් පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් තවත් 162 ක් තුවාල ලැබූහ.