ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරගය අද පල්ලේකැලේදී

by Staff writer 05-08-2018 | 8:21 AM

COLOMBO (News 1st) - තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය දිවා තරගයක් ලෙස අද පැවැත්වේ.

ඒ, මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ද, දෙවැනි තරගය කඩුලු 04 කින් ද මේ වන සිට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති බැවින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වේ. කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් ජය ගත යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී එක්දින තරග 19 කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි. 2015 වසරේ නොවැම්බර් මසදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මේ දක්වා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරග 3 ම ශ්‍රී ලංකා පරාජයට පත් වී තිබේ. මින් පෙර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වා ඇති එක්දින තරග ගණන 3 කි. ඉන් තරග 2 ක් ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම විශේෂත්වයකි. තරගය අද පෙරවරු 10 ට ආරම්භවීමට නියමිත ය.