වෙනිසුවෙලානු ජනපති දිවි ගලවා ගනී

වෙනිසුවෙලානු ජනපති ගුවන් ප්‍රහාරයකින් දිවි ගලවා ගනී

by Staff writer 05-08-2018 | 8:07 AM

(News 1st) - වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය සදහන් කළේ ඉන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති බව ය. ජනාධිපතිවරයා කැරකාස් අගනුවර පැවති වෙනිසුවෙලානු හමුදාවේ 81 වැනි සැමරුම් උළෙල අමතමින් සිටියදී ඒ අසළ ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාරය එල්ල වී තිබුණි. එම උළෙලේ ජනාධිපතිවරයාගේ කතාව එරට රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණි. ප්‍රහාරය එල්ල වීමත් සමග ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා වහාම ඉන් ඉවත් කිරීමත් සමග සජීවී රූපවාහිනී විකාශය ද නතර වී තිබේ. ඒ සමගම හමුදා උත්තමාචාර උළෙලට එක්ව සිටි පිරිස් සතරඅත දිව යන්නට විය. ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් නොවූව ද, හමුදා සෙබළුන් 7 දෙනෙකු තුවාල ලැබිණි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ විපක්ෂ දක්ෂිණාංශික පක්ෂයටයි. හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේ මාර්තු 5 වැනිදා නිකලොස් මාධූරෝ වෙනිසුවෙලාවේ ජනපති ධූරයට පත්විය. 2015 වසරේදී යළි බලයට පත්වූ මාධූරෝ වෙනිසුවෙලාවේ බලය නැවත තහවුරු කරගත්තේ පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙනි. එහෙත් මැතිවරණය වංචා සහගත බැවින් ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට එරට විපක්ෂය චෝදනා කළේය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද රටවැසියන්ගෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් තිබියදී ය.