වාද්දුව සාදයේදී රෝගී වූ තවත් අයෙක් මරුට

by Staff writer 05-08-2018 | 4:59 PM
 COLOMBO (News 1st) : වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගී වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි සාදය අතරතුර හදිසියේ රෝගී වූ තරුණයින් 4 දෙනෙකු පානදුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ, අද පස්වරුවේයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 36 ,31 සහ 20 හැවිරිදි කැස්බෑව සහ දිවුලපිටියේ පදිංචිකරුවන් ය. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. රෝගී වූ අනෙක් පුද්ගලයා තවදුරටත්  රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය. මේ අතර පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද අදාළ හෝටලයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ. උත්සව සංවිධාන කරනු ලබන ආයතනයක් විසින් ඊයේ රාත්‍රී සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද යොදවමින් මෙම සාදය සංවිධානය කරනු ලැබ තිබේ. ඊයේ පස්වරුවේ ආරම්භ වී ඇති මෙම සාදය අද අලුයම පමණ වන තෙක් පැවත ඇති බව පැවසෙයි. එහිදී පුද්ගලයින් 4 දෙනෙකු රෝගී වී ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුහු රෝහල්ගත කරනු ලැබ ඇත. මේ අතර හෝටලයේ සේවකයින්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, ශාලා පහසුකම් පමණක් ලබාදුන් බව ත් සෙසු සියල්ල උත්සවය සංවිධානය කළ ආයතනය විසින් සම්පාදනය කරනු ලැබූ බව ත් ය. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ පැවැත්වීමට නියමිත අතර මෘත ශරීර මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.