මත්තල ගුවන්තොටුපොළට සිදුවන්නට යන දේ..

මත්තල ගුවන්තොටුපොළට සිදුවන්නට යන දේ..

by Sagarika Chathumali 05-08-2018 | 8:14 PM
COLOMBO (News 1st) : මත්තල ගුවන්තොටුපොළ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ. ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මත්තල ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුවල අවසන් අදියරට එළැඹ ඇතැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා උපුටා දක්වමින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද වාර්තා කළේ ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ , ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සහ තම අමාත්‍යංශය අතර පසුගිය වසරේ සිට අවස්ථා තුනකදී සාකච්ඡා පැවැති බවයි. මත්තල ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් නොමැති බවට එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉන්දීය පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයක් සම්බන්යෙන් කළ විමසීමකදීයි. මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත ,අද වාර්තා කළේ, ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව මත්තල ගුවන්තොටුපොළ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම් කෙටුම්පතක් මෙරට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි ඒ අනුව අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් , යළි සලකා බලමින් ඇති බවත් මත්තල ගුවන්තොටුපොළේ කෙළමනාකරණය හා පරිපාලන සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව පුවත් පත මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කරයි. 2013 වසරේ ආරම්භ කළ මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජනය කර ඇති මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 190ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 30ක් පමණ වේ. වසර 15ක් සඳහා චීන රජයෛන් ලබාගෙන ඇති එම ණය මුදල 2030 වසරේදී ගෙවා අවසන් කළ යුතුවේ. මත්තල ගුවන්තොටුපොළ සඳහා ඉන්දීය රජය ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 220කි. එනම් රුපියල් බිලියන 35ක පමණ මුදලක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සඳහන් කළේ ය.