තැපැල්පති ධුරය පුරප්පාඩු වීමෙන් වැඩ කටයුතු අඩාලයි

තැපැල්පති ධුරය මාසයක් තිස්සේ පුරප්පාඩු වීමෙන් දෛනික කටයුතු අඩාල වෙයි

by Staff writer 05-08-2018 | 11:19 AM

COLOMBO (News 1st) - මාසයකට අධික කාලයක් තැපැල්පති ධුරය පුරප්පාඩු වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ.

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ තැපැල්පති තනතුරක් පුරප්පාඩුව පැවැති වැඩිම කාල සිමාව මෙය වේ. තැපැල්පතිවරයා ලෙස කටයුතු කල රෝහණ අබේරත්න මහතා පසුගිය ජුනි 25 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කිරීමත් සමග තැපැල්පති ධුරය පුරප්පාඩු විය. මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආයතනික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනිම, ගිවිසුම්වලට එළැඹීම ඇතුළු දෛනික රාජකාරි කටයුතු අඩාල වී ඇතැයි තැපැල් වෘත්තිය සමිති පවසයි. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරැ චින්තක බණ්ඩාර මහතා පවසන්නේ මේ හේතුවෙන් සියලු සේවකයින්ගේ රාජකාරීවලට බාධා එල්ල වී ඇති බව ය. මේ පිලිබඳව විමසිමට අවස්ථා කිහිපයකදිම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලිම් මහතා සම්බන්ධකර ගැනිමට නිව්ස්ෆස්ට් උත්සාහ කළත් එය අසාර්ථක විය. කෙසේ වෙතත් තැපැල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තැපැල්පති ධුරයේ කටයුතු ආවරණය කිරීම සදහා තැපැල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් පත් කර ඇති බව ය. තැපැල්පති ධුරය සඳහා සුදුසුකම් සහිත නියෝජ්‍ය තැපැල්පතිවරයකු සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයා වෙත නිර්දේශ යොමුකර ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඊට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු වේ.