එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

by Staff writer 05-08-2018 | 6:08 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී. කොක් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූහ. හෂීම් අම්ලා ලකුණු 59ක් රැස් කළ අතර අනතුරුව පිටියට එක්වූ රීසා හෙන්ඩ්රික්ස් හා ජේ පී ඩුමිනි සිවිව්න කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සබඳතාවක් ගොඩනැගූහ. රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 102කි. සිය මංගල එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ සහ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ තුන්වැනි දකුණු අප්‍රිකා ක්‍රීඩකයා ලෙස හෙන්රික්ස් අද වාර්තා අතරට එක් විය. ජේ. පී. ඩුමිනි හා ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකාවේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සබඳතාවක් ගොඩනැගූ අතර සිය 27 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ජේ. පි. ඩුමිනි දැවි ගියේ ලකුණු 92 ක් රැස් කරගෙන සිටියදීයී. ඩේවිඩ් මිලර් ලකුණු 51 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 75 ට කඩුලු 4 ක් දවා ගත් අතර ළහිරු කුමාර ලකුණු 67 ට කඩුලු 2ක් දවා ගත්හ. දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7කට ලකුණු 363ක් රැස් කළ අතර එය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ එක්දින තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කළ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ලයි. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5 බිද වැටුණේ, ලකුණු 124කදීයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 27කට පිටියෙන් ඉවත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32ක් රැස් කළහ. ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනැගූහ. අකිල ධනංජය ලකුණු 37ක් රැස් කළේ ය. සිව්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා පන්දු 66කින් 4 පහර 8ක් සහ 6 පහර 3ක් ද සමගින් ලකුණු 84ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 285ක් පමණි.